සිංගප්පූරු සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

2019-06-14 at 18:47

සිංගප්පූරුවේ තෙදින නිල සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දූත පිරිස අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියා.

අද පස්වරු 4යි 10ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ. දිවයිනට පැමිණීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ ෂන්මුගන් මහතා අතර හමුවක් පැවැත්වුණා.

ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් සහ සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට සිංගප්පුරුවේ පුර්ණ සහය හිමිවන බවයි සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා කියා සිටියේ. මේ අතර අග්‍රාමාත්‍යවරයා සහ සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.

සමාජ / ආර්ථීක / දේශපාලන කරුණු මෙන්ම ගෝලීය ත්‍රස්ථවාදය මැඩපැවැත්වීම සහ ප්‍රතිත්‍රස්ථ කාර්යය පිළිබඳ අනුගමනය කළ යුතු සාමුහික පියවර කෙරෙහි එහිදී සාකච්ඡා වු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර තුන්දින නිල සංචාරයක් සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් මහතා ඇතුලු ධූත පිරිසක් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට ළගාවුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුවයි ඔවුන් මෙම සංචාරයට එක්වන්නේ.

ශ්‍රී ලංකාව යනු සිය දෙවන නිවහන බව නෂීඩ් මහතා මෙරටට පැමිණීමෙන් පසු සඳහන් කලා.

ශ්‍රී ලංකාවෙන් සැළකිය යුතු සහයෝගයක් මාලදිවයිනට ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ සංචාරයට එක්වන්නැයි සමස්ත ලෝකයටම ආරාධනා කරන බවද මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කලා.

Please follow and like us: