සියලු අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනම් කරන්න – ජනපති

2020-02-14 at 17:02

මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.

පළමු අධියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්වුනා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් / කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් / පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස් කඩිනමින් නිම කළ යුතු ව්‍යාපෘති ගණයට අයත්වනවා.

කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වූ පසු රථ වාහනවලට උතුරු / නැගෙනහිර සහ බටහිර පලාත්වලට කඩිනමින් පිවිසීමේ හැකියාව පවතිනවා.

ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණ වන අතර මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76 ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක් කිරීමට නියමිතයි. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹෙන අතර නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමද අධික මාර්ග තදබදයට විසදුමක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ.

දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම් වල ඉදිකිරීම් අවසන් විය යුතු බවත් / ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ගාලු පාරේ සහ කඩුවෙල / හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසදුම් සොයන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

අධික තදබදයක් ඇතිවන ස්ථාන හදුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදිකිරීමෙන්ද වාහන තදබදය අවම කර ගත හැකියි.

දෙමටගොඩ / වනාතමුල්ල / හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් විමර්ශණය කළ යුතු බවත් / එමගින් බොරැල්ල හා රාජගිරිය මංසන්ධිවල තදබදයට විසදුමක් හිමිවන බවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසදුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදුබඩ මාර්ගය හෙවත් මරීන් ඩ්‍රයිව් පානදුර දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

අදාල සියලු ඉදිකිරීම් සදහා දේශිය ඉංජිනේරුවන්ගේ පූර්ණ සහය ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා නිළධාරින්ට උපදෙස් දී ඇත්තේ. මාර්ග ඉදිකිරීමට සමගාවීමව පොදු ප්‍රවාහණ සේවය දියුණු කළ යුතුයි යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ හා පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම රජයේ සැලැස්මයි. නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කොළඹට පිවිසෙන රථ වාහන නැවැත්වීමට සුදුසු ස්ථාන සකස් කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා හා නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේදී වාහන ගාල් කිරිමේ පහසුකම් සැලසිමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි / ජල හා දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවටද නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.