හාල් මෝල් හිමියන්ට සහන දෙන්න කැබිනට් පත්‍රිකාවක්

2019-02-12 at 06:54

සුලු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ට සහන ලබාදීම පිළිබද කැබිනට් පත්‍රිකාවක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ඊයේ පස්වරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදීයි.

නව ආර්ථික ක්‍රමවේද සමග රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහයෝගයෙන් රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා ශක්තිමත් ගමනක් යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ නැගිට ඇති පිරිස් තවත් නගා සිටුවීමට නොව වැටී සිටින පිරිස් නගා සිටුවීමට බවයි.