හෙරොයින් කිලෝ 100 ක් සමග ලාංකිකයන් 06 ක් ඉන්දීය වෙරළාරක්ෂක භාරයට

2020-11-25 at 17:39

ශ්‍රී ලංකාවෙන් පැමිණි බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සහ එහි සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දින 09 ක් පුරා සිදුකරන ලද මෙහෙයුමකින් පසු තූත්තුකුඩි ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.

ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සඳහන් කර ඇත්තේ පකිස්ථානයේ කරච්චි නුවර සිට පැමිණි යාත්‍රාවකින් ශෙනායා දුව නම් ශ්‍රී ලංකා යාත්‍රාවට මෙම හෙරොයින් තොගය භාරදී ඇති බවයි.

අනතුරුව ඒවා ඔස්ටේ්‍රලියාව සහ බටහිර රටවල් වෙත යැවීම සැලසුම වී ඇති බවද යාත්‍රාවේ සිටි පුද්ගලයන් ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල 05 ක් සහ චන්ද්‍රිකා දුරකථනයක්ද ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇතැයි සඳහන්.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම බෝට්ටුව මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවයි.