20ට පක්ෂ වූ SJB මන්ත්‍රීන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපයි – අසුන් පැණවීම ගැන කථානායකත් දැනුවත් කෙරේ

2020-10-24 at 06:45

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපා හැරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට එරෙහිව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමටද තීන්දු කල බවයි පක්ෂය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති අතර එහිදීයි මෙම තීන්දු ගෙන ඇත්තේ.

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුල එම පිරිස් සමගි ජනබලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කතානායකවරයා දැනුවත් කිරීමටද මෙහිදී තීන්දු කර තිබෙනවා.

කොරෝනා උවදුර සමනය වූ සැනින් සමගි ජන බලවේගයේ දීප ව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමට ද තීරණය වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියාසිටියේ.