20 ට පක්ෂවූ මන්ත්‍රීවරුන්ගෙන් මුස්ලිම් කොංග්‍රසය නිදහසට කරුණු විමසයි

2020-10-24 at 12:46

20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ගෙන් එම පක්ෂය නිදහසට කරුණු විමසා තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර උත්තරීතර මණ්ඩලය වෙත නිදහසට කරුණු යොමු කරන ලෙසටයි මුස්ලිම් කොංග්‍රසය දන්වා ඇත්තේ.

20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කල හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් එම පක්ෂවලින් නෙරපා හරින ලෙසට වන යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී සම්මත වුණා.

ඉන් අනතුරුව මුස්ලිම් කොංග්‍රසයේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක රවුෆ් හකීම් / පක්ෂ මහ ලේකම් නිසාම් කාරියප්පර් / මන්ත්‍රීවරුන් වන එම් එම් හාරීස් – ෆයිසාල් කාසීම් – එම් තවුෆීක් සහ නසීර් අහමඞ්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ හැකි ඉක්මණින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය කැඳවා පවතින තත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටයි.