20 වගකීම ජනපති භාර ගනී – අගමැතිගේ කමිටු වාර්තාව කැබිනට් එකට නෑ

2020-09-16 at 21:09

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ පූර්ණ වගකීම තමන් භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිඛෙනවා.

20 වන සංශෝධනයට අදාල කෙටුම්පත සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කල කමිටුවේ වාර්තාව අද දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව එම කමිටුවේ ප්‍රධානී අමාත්‍ය ජී එල් පීරිස් මහතා පසුගියදා සඳහන් කළද එම වාර්තාව අද දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර නැහැ.

කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර / වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක මහත්වරුන් මාධ්‍යයට මෙලෙස අදහස් දැක්වුවා.

අද පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ මෙම මාසය අවසන්වීමට පෙර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගනු ඇති බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර අදට දින 15ක් වනවා.

කිසියම් පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව එය දින 14 පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත්කිරීම සිදුවනවා.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේදී පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ගතකයට ඇතුලත් කරනු ඇති බවයි රජයේ ජ්‍යෙස්ඨ ප්‍රකාශයකයෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ.