O/L විභාගය ගැන තීරණය දින 10 ක් ඇතුළත

2020-11-26 at 15:15

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (GCE O/L) සැලසුම් කළ දිනට පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කර අදට දින 03ක් ගත වී ඇති බවත් පාසල් ආරම්භ කළ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්, 24 වන දා 44%ක් සහ ඊයේ දින‍යේදී එය 51 % ක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කළේය

විවේචනයන්ට බියේ කිසිවක් නොකර සිටීම ඊට විසඳුමක් නොවන බව පැවසූ අමාත්‍යවරයා දිගින් දිගටම පාසල් වසා තැබීම යනු සිසුන්ගේ ජීවිත වසා තැබීමක් බව පැවසීය. පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේද දැඩි ඉල්ලීමක් පැවති බවද දරුවාගේ ආරක්ෂාව , මෙන්ම දරුවාගේ ජීවිතය යන තීරණාත්මක සාධක සළකා ඒ අනුව මෙම තීරණය ගත් බවත් එසේ නොමැතිව වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවත් අවධාරණය කළේය.

ඒ අනුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටවම තමා පෞද්ගලිකවමක කතා කළ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය , විදුහල්පතිවරු ඇතළු සෑම දෙනා සමගම සාකච්ඡා කර ඒ ඒ පළාත් වල තත්වය අධ්‍යනය කර පාසල් විවෘත කිරීමේ තීරණයට එළැඹි බව සඳහන් කළේය.

සින්ක් බේසම්, විෂබීජ නාශක ද්‍රව්‍යය ආදී ද්‍රව්‍ය පාසල් වලට ලබා දුන් බවත් ඊට අමතරව පාසල් වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේදී යම් යම් අඩුපාඩු ඇත්නම් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ අවසරය ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය බාධක හමුවේ වුවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයිද සඳහන් කළේය 05 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 33 පසු එහි ප්‍රථිඵල නිකුත් කිරීමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.