අරවින්ද අද ක්‍රිඩා වැරදි වැළැක්වීමේ ඒකකයට

2020-06-30 at 07:16

2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා පාර්ෂවය විසින් පාවාදී ඇති බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කර ඇති චෝදනාවට අදාලව ප්‍රකාශයක් දීම සඳහා හිටපු ප්‍රවීණ කි්‍රකට්ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ක්‍රිඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය හමුවේ අද පෙනී සිටීමට නියමිතයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත්් ෆොන්සේකා මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ අද විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණෙන ලෙස අරවින්ද ද සිල්වා මහතා වෙත දැනුම් දී ඇති බවයි.

2011 වසරේ ලෝක කුසලානයට සහභාගීවන අවස්ථාවේ එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරිම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කලේ අරවින්ද ද සිල්වා මහතායි.

ඒ හේතුවෙන් මෙම විමර්ශණයට අදාලව ඔහුගෙන් කරුනු විමසීම අත්‍යාවශ්‍ය බැවින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අරවින්දද සිල්වා මහතා කැඳවීමට තීරණය කළ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆෝන්සේකා මහතා කියා සිටියේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණය කඩිනමින් අවසන් කර ඉදිරි පියවර ගැනීම සඳහා එම විමර්ශණයේ ගොණුව නීතිපතිවරයා වෙත යොමුකරන බවද ඔහු සඳහන් කලා.