ජනපතිගේ හොර දකුණු අත පොලිස් කුඩුවේ

2020-10-18 at 10:03

ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු මෙන්ම ජනාධිපතිවරයා ගේ දකුණු අත ලෙස හදුන්වා පොලිස් නිලධාරියෙකු බව පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල පොලීසිය මගින් 17 දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ සහ කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.

කපුවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් පෞද්ගලික ඉඩමක පැවැති ආරවුලක් විසඳා දීම සඳහා ජනාධිපතිවරයා හරහා එය කඩිනමින් විසඳීමට රුපියල් ලක්ෂ 15 ක මුදලක් මෙම පුද්ගලයා ඉල්ලා ඇති බව පොලීසිය කියයි.

 පසුව ඔවුන් දුරකථනය හරහා ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් පොලිස් නිලධාරියකු බව පවසමින් එමෙන්ම ජනාධිපතිවරයා ගේ දකුණු අත මෙන් සැලකෙන අයකු බවද පවසමින් මෙම පුද්ගලයා රවටා ඇති බව පොලීසිය කියයි.

 එමෙන්ම ජංගම දුරකථනය හරහා ලබාගත් සියලු ඇමතුම් පටිගත කර ගත් ඉඩම් හිමියා  මේ බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. පී .එදිරිසිංහ මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ අංශයේ මෙන්ම බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සූක්ෂම ලෙස යොදවා කප්පම් මුදල වන රුපියල් ලක්ෂ 15 ක මුදල ලබා ගැනීම සඳහා අවස්ථාව දිනය ස්ථානය  වෙන්කරගෙන තිබිණි.

ඒ අනුව දඹුල්ල යාපාගම ප්‍රදේශයේ පාළු ස්ථානයක මෙම මුදල ලබා ගැනීමට සූදානම් ව  සිටියදී පොලිසිය මෙම පුද්ගලයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන්ගේ ජංගම දුරකතනවලින්  ඇමතුම් ලැබෙන විට පොලිස් ස්ථානය දුරස්ථපාලක කථන හඬ ඇසීමට සලස්වමින් මෙම පුද්ගලයා බිය ගන්වා ඇති බවද හඬ පට වල සඳහන් බව පොලීසිය කියයි.

මෙම සැකකරුවන් ගේ දුරකථන වල පටිගත කර ඇති හඩපට පරික්ෂා කොට තවත් පුද්ගලයන්ට මේ ආකාරයේ මුදල් ලබාගෙන ඇත්දැයි පරික්ෂා කරන බව පොලිසිය කියයි .

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බ්ලිව් .එම්. කේ. එස්. වන්නිනායක යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් දෙදෙනා 18 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.