ඇමෙරිකා ඩිමොක්‍රටික් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලයක්

November 7, 2018

ඇමෙරිකාවේ පැවති මධ්‍ය වාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ.

දේශපාලන විශ්ලේෂකයින් එය හඳුන්වන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ අතුල් පහරක් ලෙසය.

වසර 8 කට පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය තමන් යටතට පත් වීමත් සමග ජනාධිපති ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට බලපෑම් කිරීමේ හැකියාව ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවනු ඇත.

කෙසේ වෙතත්, ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ බලය ශක්තිමත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හැකි වනු ඇත.

අඟහරුවාදා පැවති මෙම මැතිවරණය ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සැලකිණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනෙට් මණ්ඩලය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් තමන්ට ම ප්‍රශංසා කරගෙන තිබිණි.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකානු සහකරු ලෙස කටයුතු කරන CBS ආයතනයේ පුරෝකථනයන්ට අනුව ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පලන බලය නතු කර ගැනීම සඳහා අවශ්‍ය ඉතිරි ආසන 23 ජය ගනු ඇත.

මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ, ආසන 435 ක් වෙනුවෙනි.

ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය, ව්‍යාපාරික කටයුතු, ළබැඳියාවන් අතර ගැටුම් ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඩ්‍රමොක්‍රටික් පක්ෂයට අවස්ථාව හිමි වනු ඇත.

ඊට අමතරව, මෙක්සිකෝව සහ ඇමෙරිකාව අතර තාප්පයක් ඉදි කිරීම වැනි ව්‍යවස්ථාමය සැලසුම් අවහිර කිරීම සඳහා ද ඔවුන්ට ක්‍රියාත්මක විය හැකිය.

මෙවර මැතිවරණයේදී කාන්තා අපේක්ෂිකාවන් වඩාත් හොඳ ප්‍රතිඵල අත් කරගෙන තිබේ.

ඒ අනුව, 29 හැවිරිදි ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාවන් දෙදෙනෙකු වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් (Alexandria Ocasio-Cortez) සහ ඇබී ෆන්කනෝර් (Abby Finkenauer) ඇමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වුණු ලාබාලතම කාන්තාවන් දෙදෙනා බවට පත් වනු ඇත.

මේ අතර, ඉල්හාන් ඕමාර් (Ilhan OImar) සහ රෂිඩා ට්ලයිබ් (Rashida Tlaib) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන පළමු මුස්ලිම් කාන්තාවන් වනු ඇති අතර ශැරිස් ඩේවිඩ්ස් (Sharice Davids) සහ ඩෙබ්රා හාලන්ඩ් (Debra Haaland) එසේ තේරී පත්වන පළමු ස්වදේශික ඇමෙරිකානු කතුන් වනු ඇත. එම සියලු දෙනා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාවෝ වෙති.

සෙනෙට් මණ්ඩලයේ 51 – 49ක් ලෙස තමන්ට පවතින බලය වැඩි කර ගැනීම සඳහා රිපබ්ලිකන් පක්ෂය ක්‍රියා කරමින් සිටී. ඒ අනුව, විධායක සහ අධිකරණ පත් කිරීම් තහවුරු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට බහුතරය ලැබෙනු ඇත.

රිපබ්ලිකන් පක්ෂය මෙහිදී ලැබූ විශේෂ ජයග්‍රහණය වන්නේ, ඉන්ඩියානා, මිසුරි සහ උතුරු ඩකෝටා නියෝජනය කළ ඩිමොක්‍රටික් නියෝජිතයින් පරාජය කිරීමය.

මේ වන විට කරන ලද ගණනය කිරීම් අනුව අමෙරිකාවේ ජනපද 50 න් 36 ක් සඳහා ආණ්ඩුකාරවරුන් තේරී පත්වී තිබේ.

කෙසේ වෙතත්, මිචිගන්, ඉලිනොයිස් සහ කැන්සාස් යන ජනපදවල ආණ්ඩුකාර ධුරයන් ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබේ.

(BBC Sinhala)