ක්‍රයිස්චර්ච් පන්නයේ ප්‍රහාරයක් සැලසුම් කල තරුණයෙකු සිංගප්පූරුවේදී අල්ලයි

2021-01-28 at 13:15

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි 02 කට එල්ලවූ ප්‍රහාරයේ දෙවන සැමරුම දිනයේදී ඒ සමාන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කල 16 හැවිරිදි තරුණයෙකු සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2019 වසරේදී සිදුවූ ක්‍රයිස්චර්ච් ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් සිදුකරමින් එය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට සැකකරු සැලසුම් කර තිබූ බව සඳහන්.

සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක අභ්‍යන්තර ආරක්ෂණ පණත යටතේ අත්අඩංගුවට ගත් වයසින් අඩුම තැනැත්තා වන්නේ මෙම තරුණයායි.

නඩු විභාගයකින් තොරව සැකකරුවෙකු රඳවා තබා ගැනීමට ඒ යටතේ අවසර හිමිවනවා.

2019 මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි 02 කට අන්තවාදී අදහස් දැරූ ඔස්ටේ්‍රලියානුවෙකු එල්ලකල ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.