ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ ලක්ෂ 15 ක් ෆේස්බුක් වලින් ඉවතට

2019-03-17 at 19:12

නවසීලන්තයේ ක්‍රයිසිට්චර්ච් නුවර ඉස්ලාමීය දේවස්ථාන දෙකකට එල්ල වු ආයුධ සන්නද්ධ ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පහලොස් ලක්ෂයක් පළමු පැය 24 ඇතුළත ඉවත් කළ බව සුප්‍රකට ෆෙස්බුක් සමාගම පවසනවා.

ඔවුන් ප්‍රකාශ කළේ ඉන් වීඩියෝ දොළාස් ලක්ෂයක් ෆේස්බුක් සමාජ ජාලයට එක් කරන අවස්ථාවේදීම ඉවත් කළ බවයි.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය එල්ල කළ තැනැත්තෙකු එම සියලු දර්ශන පටිගත කර අන්තර් ජාලයට එක් කර තිබුණා. පෙරේදා ක්‍රයිස්ට්චර්ච් නුවර ඉස්ලාමීය දේවස්ථාන දෙකකට එල්ල වු ආයුධ සන්නද්ධ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා.

තුවාල ලැබු පිරිසක් තවමත් රොහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර නවසීලන්තයේ ඩන්නිඩීන් ගුවන් තොටුපල හිදිසියේ වසා දමා තිබෙනවා.

ගුවන් තොටුපල පරිශ්‍රයේ තිබියදී සැක සහිත පාර්සලයක් හමුවීමයි ඊට හේතු වී ඇත්තේ.

එය පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැඳවා තිබෙනවා. පසුගියදා ක්‍රයිස්ට්චර්ච් නුවරදී එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු තැනැත්තා ජිවත්ව සිටි බව පැවසෙන්නේ ඩන්නිඩීන් නගරයේයි