කාශ්මීර අර්බුදය හමුවේ පකිස්තානය සහ ඉන්දියාව අතර උණුසුම තවත් උග්‍ර අතට

2019-08-07 at 20:52

සිය රටේ සිටින ඉහළම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා නෙරපා දමන බව සහ වෙළෙඳ ගනුදෙනු අත්හිටුවන බව පාකිස්තානය ප්‍රකාශයට පත් කිරීමත් සමග කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම තවත් උග්‍ර වී ඇත.

ඉන්දීය පාලිත කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීම සඳහා ඉන්දියාව ගත් තීන්දුවට එරෙහිව සටන් කරන බවට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මීට ඉහතදී ප්‍රතිඥා දී තිබිණි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළත් එම සටන දියත් කරන බවය.

ඉන්දීය ආණ්ඩුව කාශ්මීරය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් යයි සඳහන් කළ අගමැති ඉම්රාන් ඛාන්, ඉන්දියාව වාර්ගික ශුද්ධයක නිරතව සිටින්නේ දැයි බියක් ඇති කෙරෙන බවත් කියා සිටියේය.

ඉන්දීය පාලණය සහිත ජම්මු-කාශ්මීරයේ ස්වයංපාලන බලතල ඉවත් කරන බව නිවේදනය කරනු ලැබීමෙන් දවසකට පසු එම කලාපයේ ආරක්ෂාව තර කොට ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර හිමාලය අඩවියේ පිහිටි කාශ්මීරය සම්බන්ධයෙන් දෙරටම හිමිකම් කියන අතර, එමගින් මතභේදයකට තුඩු දී ඇති එම භූමිය කොටස් දෙකකට බෙදනු ලැබ එම දෙරට විසින් පාලනය කරනු ලැබේ.

කාශ්මීරය බෙදා පාලනය කරනු ලැබීමේ ආරම්භයේ පටන්ම ඉන්දීය පාලිත කාශ්මීරය තුළ දිගින් දිගටම පවතින බෙදුම්වාදී කැරලි හමුවේ දශක තුනකට අධික කාලයක් තුළ දහස් ගණනක් මරණයට පත්ව ඇත.

කාශ්මීර් කැරලිකරුවන්ට සහාය දෙන බවට ඉන්දීය බලධාරීන් පාකිස්ථානයට චෝදනා කරන අතර, ඉස්ලාමාබාද් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ස්වයං නිර්ණ අයිතිය ඉල්ලා සිටින කාශ්මීරවාසීන්ට අවශ්‍ය චිත්ත ධෛර්යය සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සහයෝගය දැක්වීමක් පමණක් තමන් සිදු කරන බව පාකිස්තානය පවසයි.

ඉන්දීය ආණ්ඩුව විසින් සඳුදා (අගෝස්තු 05) නිවේදනය කරන ලද තීන්දුව පිළිබඳව “ලොවට හඬ ගා කීමට” තමන්ට අවශ්‍ය වූ බව පාකිස්තාන අගමැතිවරයා කියා සිටියි.

“එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය මාර්ගයෙන් අප ඉන්දියාවේ තීන්දුව පිළිබඳව අධ්‍යනය කරමින් සිටිනවා. අපි මේ කාරණය පිළිබඳ මහා සම්මේලනයේදී මතු කරනවා. සෑම හමුවකදීම අපි මේ සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් සමග කතා කරනවා. අප මේ ගැන මාධ්‍යයේ අවධානය යොමු කරන අතර ඒ ගැන ලොවටම කියනවා” යනුවෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන් පාර්ලිමේන්තුව අමතමින් අඟහරුවාදා (අගෝස්තු 06) පැවසීය.

ඉන්දීය පාලිත කාශ්මීරය සතු විශේෂ බලතල ඉවත් කිරීම තුළින් මුස්ලිම් බහුතරයක් වෙසෙන එම ප්‍රාන්තයේ ජනසංයුතියේ වෙනසක් කිරීමට ඉන්දියාවට අවස්ථාව ලැබෙන බව පාකිස්තාන් අගමැතිවරයා පෙන්වාදෙයි.

ඉන්දියාව, කාශ්මීරය තුළ වාර්ගික ශුද්ධයක් සිදු කරනු ඇද්දැයි මට බියක් දැනෙනවා” යයි අගමැති ඛාන් අනතුරු ඇඟවීමක් ද කරයි.

“වෙනත් ජන කණ්ඩායම් කාශ්මීරයට ගෙන එමින් ඔවුන් ප්‍රාන්තයේ බහුතරය බවට පත් කිරීම සඳහා ඉන්දියාව යත්න දරාවි. එවැනි තත්වයක් යටතේ කාශ්මීරයේ පාරම්පරික ජනතාව එහි වහලුන් බවට පත් කිරීමක් මිස ඔවුන්ට ලැබෙන වෙනත් දෙයක් නැහැ” අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

සිය හමුදා කාශ්මීර ජනතාවගේ අරගලයත් සමග එකට සිට ගන්නා බව පාකිස්තානයේ අතිප්‍රබල හමුදා ප්‍රධානියා මින් පෙර කියා සිටියේය.

ඉන්දියාව ගත් තීන්දුව සම්බන්ධයෙන් විරෝධය පළ කරන අසල්වැසි චීනය එය “අනුමත කළ නොහැකි” බව කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කාශ්මීරයට දී තිබුණ විශේෂ බලතල ඉන්දීය ආණ්ඩුව විසින් අහෝසි කරන බව නිවේදනය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළත් කෝපය පළ විය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්තිය මගින් මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු- කාශ්මීර ප්‍රාන්තයට සුවිශේෂී ස්වයං පාලන බලයක් දී තිබිණි.

ඉන්දියාව සහ ඉන්දීය පාලිත කාශ්මීරය අතර පවතින සම්බන්ධය අර්ථ නිරූපනය කරනු ලැබුණේ ද අදාළ වගන්තිය මගිනි.

අදාළ වගන්තිය අවලංගු කිරීමට ගත් පියවර විශාල වශයෙන් විවේචනයට ලක්ව ඇති අතර ඇතැම් නීති විශාරදයන් විසින් එය හඳුන්වනු ලබන්නේ ව්‍යවස්ථාවට එල්ල කෙරුණු ප්‍රහාරයක් ලෙසිනි.

අදාළ නීති ප්‍රතිපාදනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බවට පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2019 මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ප්‍රතිඥා දී තිබිණි. මැයි සහ ජුනි කාලය තුළ පැවති මහමැතිවරණයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබීය.

370 වෙනි වගන්තිය මගින් ඉන්දීය පාලිත ජම්මු කාශ්මීරයට තමන්ගේම ව්‍යවස්ථාවක්, ධජයක් දරාගැනීමේ හැකියාව මෙන්ම විදේශ සබඳතා, ආරක්ෂාව සහ සන්නිවේදන කටයුතු හැර සෙසු සියලුම අංශ සම්බන්ධයෙන් ස්වාධීන බලතල ලබා දී තිබිණි.

(BBC Sinhala)