ගිනි අවි පාලන නීති දැඩි කිරීමට නවසීලන්ත කැබිනට් අනුමැතිය

2019-03-18 at 13:34

ගිනි අවි පාලන නීති දැඩි කිරීමට නවසීලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මාර්තු 25 වනදා වනවිට ඊට අදාල සංශෝධන සිදුකර අවසන් කරන බවයි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය සඳහන් කලේ.

28 හැවිරිදි පුද්ගලයෙකු ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 2 ක සිදුකල වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 50 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලැබීමත් සමගයි ගිනි අවි පාලන නීති දැඩි කිරීමට නවසීලන්තය තීරණය කරනු ලැබුවේ.

නවසීලන්තය සැළකෙන්නේ ගිනි අවි පාලන නීති ඉතා ලිහිල්ව ක්‍රියාත්මක වන රටක් ලෙසටයි.

වයස අවුරුදු 16 සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට ගිනි අවි බලපත්‍රයක් ලබාගත හැකි අතර එක් බලපත්‍රයකින් ඕනෑම ගිනි අවි සංඛ්‍යාවක් මිළදී ගත හැකි වනවා.

මේ අතර ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට සම්බන්ධ ඔස්ටේ්‍රලියානු ජාතිකයා සිටි බව කියන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස කිහිපයක් ඔස්ටේ්‍රලියා පොලිසිය විසින් පරීක්ෂා කර තිබෙනවා.

සැකකරුගේ සහෝදරියකගේ නිවසක්ද ඒ අතර වනවා.