ට්‍රම්ප් පරාජය පිළිගනී – බයිඞ්න් කැබිනෙට්ටුව නම් කරයි – ජෝන් කෙරී ටත් ලොකු පුටුවක්

2020-11-24 at 06:56

අමෙරිකාවේ මීලග ජනාධිපතිවරයා වන ජෝ බයිඞ්න් මහතා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනි බ්ලින්කන් ද / කාළගුණ නියෝජිතයා ලෙස හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන ජෝන් කෙරී පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

ජාතික ආරක්ෂක උපදේශක ලෙස නම් කර ඇත්තේ ඇව්රිල් හයින්ස් මහත්මියයි.

ඇය එම තනතුරට පත්වූ පළමු කාන්තාවද වනවා. අමෙරිකානු වාර්තා පවසන්නේ භාණ්ඩාගාර ලේකම් ධුරයද කාන්තාවකටම හිමිවනු ඇති බවයි. ඒ අනුව ජැනට් යෙලන් මහත්මිය එම තනතුරට පත් කෙරෙනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ධුරයට කවරෙකු පත් කරන්නේදැයි මේ දක්වා අනාවරණ වී නැහැ.

මේ අතර ජෝ බයිඞ්න් මහතාට ජනාධිපති ධුරය භාර ගැනීම සඳහා නිල බල හුවමාරුවකට ඉඩදීමට සූදානම් බව අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පවසනවා.

මෙය සැළකෙන්නේ ඔහු විසින් සිය පරාජය නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව ලෙසටයි.

ඒ අනුව ලබන ජනවාරි 20 වනදා බයිඞ්න් මහතාගේ දිවුරුම්දීමේ උත්සවයට අදාළව මෙතෙක් ඇණහිට තිබූ ඇතැම් කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව හිමිවනවා.

එරට පොදු කටයුතු පරිපාලනද දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා බයිඞ්න් මහතාගේ ජයග්‍රහණය නිල වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ.

එහි ප්‍රධානියා ලෙස කටයුතු කලේ ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ අතිශය සමීපතමයෙකුයි.

ප්‍රාන්ත කිහිපයක මැතිවරණ පෙත්සම්වලින් පරාජය වීම හේතුවෙනුයි ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සිය පරාජය භාරගෙන ඇත්තේ.