දැඩි විරෝධතා මැද විවෘත කළ ලෝකයේ උසම ප්‍රතිමාව

November 1, 2018

ඉන්දීය රුපියල් බිලියන 29.9 ක් (ඇ ඩො මිලියන 430 ක්) වැය කරමින් ඉදිකළ ලොව උස ම ප්‍රතිමාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉදි කළ මීටර් 182 ක් (අඩි 600 ක්) උසින් යුත් ලෝකඩ ආලේපිත මෙම ප්‍රතිමාවෙන් නිරූපණය කර ඇත්තේ, එරට නිදහස් සටනේ නියමුවෙකු වූ සර්දාර් වල්ලාභායි පටෙල් ය.

විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්, මෙම “එක්සත්භාවයේ ප්‍රතිමාව” සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේය.

කෙසේ වෙතත්, මෙය මහජන මුදල් නාස්ති කිරීමක් වන බවත් ඊට වැය කළ මුදල් වෙනත් යහපත් කාර්යයක් වෙනුවෙන් යොදා ගැනීමට තිබූ බවත් ඇතැම් ගුජරාට් වැසියන් චෝදනා කරයි.

අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, එය “ඉන්දියාවේ අවංකභාවයේ සහ අධිෂ්ඨානයේ සංකේතයක්,” බවය.

සම්මානනීය ඉන්දීය ප්‍රතිමා ශිල්පියෙකු වන රාම් වී සුතාර් විසින් නිර්මාණය කරන ලද එම ප්‍රතිමාව විවෘත කළේ, ඉන්දීය ගුවන් හමුදාවේ යානා මගින් මල් වැස්සක් හෙළමිනි.

මේ වන විට ලෝකයේ උස ම ප්‍රතිමාව ලෙස සැලකෙන මෙය නිව් යෝර්ක්හි නිදහසේ ප්‍රතිමාව මෙන් ආසන්න වශයෙන් දෙගුණයක් උසින් යුක්ත වේ.

ප්‍රබල භූ කම්පන සහ තද සුළංවලට ඔරොත්තු දෙන පරිදි ඉදි කර ඇති මෙම ප්‍රතිමාවෙහි බර ටොන් 67,000 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත.

ප්‍රතිමාව සහ අවට ප්‍රදේශයේ භූමි ප්‍රමාණය වර්ග මීටර් 20,000 ක් වන අතර, එහි වර්ග කිලෝමීටර් 12 ක විශාලත්වයෙන් යුත් කෘත්‍රිම වැවක් ද නිර්මාණය කර තිබේ.

ඉන්දියාවේ සහ චීනයේ කම්කරුවන් 2000 කට අධික පිරිසක් මෙය ඉදි කිරීම සඳහා යොදාගෙන තිබේ.

කවුද මේ එස්වී පටෙල්?

එස් වී පටෙල් යනු ඉන්දියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වන අතර වෘත්තියෙන් නීතිඥවරයෙකු විය.

ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඉන්දීය ජනරජයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකේ.

1875 වසරේ ඔක්තෝබර් මස 31 වන දා උපත ලබා ඇති එස් වී පටෙල් 1950 වසරේ දෙසැම්බර් මස 15 වන දා අභාවප්‍රාප්ත විය.

ප්‍රතිමාව විවෘත කළ බදාදා (31) දිනට ඔහුගේ 143 වෙනි ජන්ම දින සැමරුම යෙදී තිබිණි.

දැඩි විරෝධයක්

ගුජරාට්හි ප්‍රදේශ රැසක මෙම ප්‍රතිමාව ඉදි කිරීමට විරෝධය පළ කරමින් විරෝධතා පැවති අතර ඔවුන් පාලනය කිරීමට පොලිස් නිලධාරීන් දහස් ගණනක් යොදවා තිබිණි.

අඟහරුවාදා එම විරෝධතාවල නිරත වූ ගොවීන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ද පත් වී තිබේ.

මෙම ප්‍රතිමාව ගුජරාට්හි ගොවීන්ගේ විරෝධතාවලට ලක්ව ඇත්තේ, ඒ සඳහා ඔවුන්ගේ ගොවි බිම් පවරා ගත්ත ද නිසි ලෙස වන්දි ගෙවා නොමැති බවට වන චෝදනා හේතුවෙනි.

විවිධ ව්‍යාපෘති සඳහා ගොවි බිම් යොදා ගන්නා බවට ඔවුන් චෝදනා කරයි.

ගුජරාට් ප්‍රාන්ත රජයේ ප්‍රතිපාදනවලින් අඩක් පමණ මෙම ප්‍රතිමාව ඉදි කිරීමට වැය කර ඇති අතර ගොවීන්ට වන්දි ගෙවීම සඳහා මධ්‍යම රජයෙන් මුදල් ලැබිය යුතු බව වාර්තා වේ.

මෙම ප්‍රතිමාව ඉදි කිරීමට මෝදි අදහස් කර ඇත්තේ, 2010 වසරේ ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ක්‍රියා කළ අවදියේදී ය.

(BBC Sinhala)