බයිඩ්න් – කමලා අද දිවුරයි / උත්සවයට ට්‍රම්ප් නෑ

2021-01-20 at 07:42

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් මහතා අද දිවුරුම්දීමට නියමිතයි.

වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදීයි එම උත්සවය සංවිධාන කර ඇත්තේ.

එරට පළමු කාන්තා උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් මහත්මියද මෙහිදී දිව්රුම් දීමට නියමිතයි.

වොෂින්ටන් නුවර වේලාවෙන් අද දහවල් 12 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10 යි 30 ටයි ජෝ බයිඩ්න් මහතා නව ජනාධිපතිවරයා ලෙස ප්‍රතිඥාව දීමට නියමිතව ඇත්තේ.

මෙම උත්සවය හමුවේ වොෂින්ටන් අගනුවරට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර ජාතික ආරක්ෂක බලකායේ සෙබලුන් විශාල පිරිසක් ස්ථානගත කර තිබෙනවා.

ඒ ට්‍රම්ප් හිතවාදීන් විසින් විවිධ කළහකාරී සිදුවීම් සැළසුම් කර ඇති බවට ලැබී ඇති පූර්ව අනතුරු ඇගවීම් හේතුවෙනුයි.

කෙසේවෙතත් මෙම උත්සවයට ට්‍රම්ප් මහතා සහභාගී නොවන බව දැනටමත් නිවේදනය කර තිබෙනවා.