මීයෙක් නිසා ඩොලර් මිලියන 190 ක් අහිමිවූ අවන්හලක්

September 13, 2018

සුප් බඳුනක සිටි මැරුණු මීයෙකු හේතුවෙන් වෙළඳපොළ වටිනාකම ඩොලර් මිලියන 190 කින් පමණ පහත වැටුණු අවන්හලක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වනවා.

ගර්භණි කාන්තාවක් පසුගිය 6 වනදා ෂන්ඩොන් පළාතේ තිබූ මෙම අවන්හලට සිය පවුලේ සාමාජිකයන්ද සමග පැමිණ ඇත්තේ ආහාර ගැනීම සඳහායි.

තමන්ට ලැබුණු සුප් බඳුනේ මියගිය මීයෙකු සිටින බව ඇය දැක ඇත්තේ සුප් බඳුන පානය කිරීම ආරම්භ කිරීමෙන් පසුවයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් අවන්හලේ පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් පසු ඔවුන් යුවාන් 5000 ක වන්දියක් ගෙවීමට එකග වී තිඛෙනවා.

එහෙත් අදාළ කාන්තාවගේ සැමියා ඊට එකග වී නැති අතර ඔහු පවසා ඇත්තේ පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු කිසිදු වන්දියක් පිළිනොගන්නා බවයි.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය වීම හමුවේ අදාළ අවන්හලේ කොටස් මිළ සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි සඳහන්.