ලෝකයේ ධනවත්ම සංගීතවේදිනිය – රිහානා

2019-06-08 at 18:03

ලෝක ප්‍රකට ගායිකාවක වන රිහානා පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නොමැත.

නමුත් ඇය වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් ඇත.

ෆෝබ්ස් සඟරාව පවසන පරිදි රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනිය බවට පත්වී සිටින්නීය.

රිහානා

‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළෙහි ද හිමිකාරිය වන රිහානා සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් (බ්‍රිතාන්‍ය පවුම් මිලියන 471) වන බවට ඇස්තමේන්තු කර තිබේ.

මීට පෙර ලොව ධනවත් ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින් ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදවා රිහානා ඉදිරියට පැමිණ සිටින්නීය.

2019 වසරේ ධනවත් ම ගායිකාවෝ
ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව හෙළිදරව් කරන ධන කුවේරයන්ගේ ලැයිස්තු අනුව මේ වසරේ ධනවත් ම ගායිකාවන් සිව් දෙනා අනුපිළිවෙලින් මෙසේය.

රිහානා
මැඩෝනා
සෙලින් ඩියෝන්
බියොන්සේ

තිස් එක් හැවිරිදි රිහානා අවසන් වරට ගීත ඇල්බමයක් (Anti) එළි දැක්වූයේ 2016 වසරේදී ය.

කෙසේ නමුත් තමන්ගේ රූපලාවන්‍ය, කාන්තා ඇඳුම් සහ යට ඇඳුම් ව්‍යාපාර පෙළ වෙනුවෙන් ඇය වෙහෙසී කටයුතු කරන්නීය.

රිහානා යන තනි නාමයෙන් ලොව ප්‍රචලිත වූ ඇය ගේ සම්පුර්ණ නම රොබින් රිහානා ෆෙන්ටි ය.

වසර 2017 දී ‘ෆෙන්ටි’ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළ වෙළඳ පොළට නිකුත් කළ අතර පළමු සති කිහිපය ඇතුළත ඩොලර් මිලියන 100ක ආදායමක් ලැබුණි.

පසුගිය වසර තුළ පමණක් මෙම රූපලාවණ්‍ය සමාගම ඩොලර් මිලියන 570ක ආදායමක් උපයා ඇති බව ‘ෆෝබ්ස්’ සඟරාව පවසයි.

රිහානා තමන් සතු ධනය බුද්ධිමත් ලෙස ආයෝජනය කර ඇති බව විශේෂඥයෝ පවසති. ඇය ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් වී සිටින නමුත් ඇයගේ ධන සම්භාරය සරි කර ගෙන ඇත්තේ සංගීතයෙන් පමණක් නොවන බව ඔවුහූ ප්‍රකාශ කරති.

(BBC Sinhala)

Please follow and like us: