2020 දී ගුවන් යානා අනතුරු අඩුවෙයි – මරණ වැඩිවෙයි

2021-01-02 at 10:56

2020 වසරේදී ලොව පුරා සිදුවූ වාණිජ ගුවන් යානා අනතුරු හේතුවෙන් පුද්ගලයන් 299 දෙනෙකු මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් සිදුවු අනතුරු සංඛ්‍යාව පෙර වසර හා සැසඳීමේදී සියයට 50 කින් පමණ පහළ ගොස් ඇති බවයි නවතම අධ්‍යයනයකදී අනාවරණ වී ඇත්තේ.

පසුගිය වසරේදී විශාල වාණිජ ගුවන් යානා අනතුරු 40 ක් සිදුවී ඇති අතර ඉන් 05 ක් බරපතල අනතුරු ලෙස වාර්තා වී තිබෙනවා.

2019 වසරේදී ගුවන් යානා අනතුරු 86 ක් සිදුව තිබූ අතර ඉන් 08 ක් බරපතල අනතුරු ලෙසටයි සැළකුණේ.

එම වසරේදී වාර්තාවු ගුවන් යානා අනතුරු සම්බන්ධ මරණ ගණන 257 ක්.

කොරෝනා වසංගතය හමුවේ පසුගිය වසරේදී වාණිජ ගුවන් ගමන් සියයට 42 කින් පහළ ගොස් තිබුණා.

එමෙන්ම පසුගිය වසරේදී වාර්තා වී ඇති ගුවන් යානා අනතුරු මරණ 299 අතුරින් මරණ 176 ක්ම සටහන් වන්නේ පසුගිය ජනවාරි මාසයේදී ඉරාන ගුවන් කලාපයේදී යුක්රේන ගුවන් යානයක් අත්වැරදීමකින් ඉරාන හමුදා විසින් බිම හෙලීමට අදාළවයි.

දෙවන දරුණුතම අනතුර වන්නේ පසුගිය මැයි මාසයේදී පකිස්ථානයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 98 දෙනෙකු මිය යාමයි.

ගතවූ වසර 15 තුළදී ගුවන් යානා අනතුරු හමුවේ සිදුවූ පුද්ගල මරණ ක්‍රමක්‍රමයෙන් අඩුවී ඇති අතර මෙම කාලය තුළ ආරක්ෂාකාරීම වසර ලෙස සටහන් වන්නේ 2017 වසරයි.

එම වසරේදී දරුණු අනතුරු වාර්තාවී තිබුණේ 02 ක් පමණයි. 2009 වසරේ පෙබරවාරි මාසයෙන් පසු අමෙරිකාව තුළදී අමෙරිකාවට අයත් කිසිදු ගුවන් යානයක් අනතුරට ලක්ව නොතිබීමද විශේෂත්වයක්.