Update: නෝත්ර ඩේම් ගින්න පාලනය කරයි

2019-04-16 at 11:34

ප්‍රංශයේ පැරිස් අගනුවර ඉපැරණි දේවස්ථානයක් වන නෝත්ර ඩේම් හි හටගත් ගින්න පාලනය කර තිඛෙනවා.

පැය 9 කට ආසන්න කාලයක් ගින්න පැවති බවයි එරට වාර්තා සඳහන් කලේ.

මෙහිදී දේවස්ථානයේ ප්‍රධාන කොටස් ආරක්ෂා වී ඇතත් වහළය ඇතුලු අංග කිහිපයක් මුලුමනින්ම විනාශ වී තිඛෙනවා. ගින්න හටගැනීමට නිශ්චිත හේතුවක් මේ දක්වා හෙළිකරගෙන නැහැ.

එහෙත් හැකි ඉක්මණින් දේවස්ථානය පිළිසකර කරන බවටයි ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සහතික වී ඇත්තේ.

මේ අතර ජනප්‍රිය විලාසිතා නාමයන් කිහිපයක හිමිකරුවෙකු මෙන්ම බිලියනපතියෙකුද වන ෆ්‍රන්සුවා හෙන්රි පිනෝ මහතා පොරොන්දු වී ඇත්තේ නෝත්ර් ඩේම් දේවස්ථානය යලි ඉදිකිරීම සඳහා වැයවන මුදලින් යුරෝ මිලියන 100 ක මුදලක් දීමට තමන් සූදානම් බවයි.

කතෝලික බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන ශුද්ධ වූ සතිය ආරම්භවූ දිනයේදීම මෙම ඛේදවාචකය සිදුවීම හමුවේ ඉමහත් සංවේගයට පත් විශාල පිරිසක් නෝත්ර ඩේම් දේවස්ථානය අසල තවමත් හැඩූ කඳුලින් සිටින බව ප්‍රංශ වාර්තා සඳහන් කලා.

මෙම දේවස්ථානයේ තිබූ බව කියන මිල කල නොහැකි සිතුවම් / පිළිරූ ඇතුලු කෞතුක භාණ්ඩ රැසක් ආරක්ෂාකාරීව වෙනත් ස්ථාන කරා රැගෙනයාමට ගිනි නිවන භටයන් සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.