අප්‍රිකාවේ උසම කඳු මුදුනේ සිංහ කොඩිය ලෙලවූ තරුණයන් (PHOTOS)

2019-08-23 at 10:10

අප්‍රිකානු මහාද්වීපයේ ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 8/23 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම කදුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද ද වේ.

මෙම කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගගබඩ ආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දෙදෙනෙකි.

රංග දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරත් සුදම් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරත් වෘත්තීය ගණකාධිකාරිවරුන් ලෙස සේවය කරමින් සිටිති.

මෙම කදු තරණයෙන් පසු යළි සියරට පැමිණි රංග මධුපත්ම 8/23 දින අලුයම 1.10 ට ඩුබායි සිට පැමිණි ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඔහු පිළිගැනීම සදහා සිය දෙමාපියන් ඇතුළු ඥාතී – හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙහිදී සිය අත්දැකීම් විස්තර කළ රංග,

“අපි මේ කන්ද නගින්න 8/16 දා පටන් ගත්තා. මේ කන්ද අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උසයි. මේ කන්ද දැනට අක්‍රිය ගිනි කන්දක්. ඒත් මීට වසර 200 කට විතර පෙර යම් විදාරණය වීමක ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා. මෙම කිලිමැන්ජාරෝ කදු වැටිය වර්ග කිලෝ මීටර් 756 පුරා පැතිරුණ යුනෙස්කෝ සංවිධානය විසින් ද ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කරල තියෙන තැනක්.

මේ කන්දෙ කිබෝ / මාවෙන්සි සහ ෂිරා කියල ප්‍රධාන කදු මුදුන් තුනක් තියෙනවා.

එයින් උසම තැන කිබෝ කදු මුදුනේ තියෙන උහුරු නැමැති ස්ථානයයි.

විශාල ජෛව විවිධත්වයකින් යුතු ප්‍රධාන දේශගුණික කළාප පහකින් සමන්විත මේ කදු වැටියේ උසම තැනට දින පහක් තිස්සේ නැගලා 8/20 දා අපි උහුරු වෙත ළගා උනා.

එතැන විනාඩි 10 කට වඩා ඉන්න අමාරුයි. හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් අපිට ඇති තරම් එතැන නැහැ.

ජර්මානු සහ ඇමෙරිකානු තරුණයන් කීප දෙනෙක් ද මේ කන්ද නගින්න ඇවිත් හිටියා.

පසුගිය මාසෙ මේ කන්ද නගින්න ආව තරුණයෝ හතර දෙනෙක් කන්ද නගින අතරතුර දී මිය ගිහින් තිබුණා.

අපිට හුගාක් ලොකු සහයක් එරට මග පෙන්වන්නන් ලබා දුන්නා”

යැයිද , මෙහිදී රංග මධුපත්ම පැවසීය.