අලුත් අවුරුද්ද සහ කොහා ගැන මේ කරුණු දැන සිටියා ද?

2019-04-13 at 19:22

කොහෝ…කොහෝ…

කොහේ ඉන් කොහෝ කියනවදෝ

අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ…

ජන ක්‍රීඩා, අලුත් ඇඳුම්, කැවිලි පෙවිලි, නෑගම් තරමට ම කොහාගේ නාදය සහ අලුත් අවුරුදු උත්සව සමය අතර ද පවතින්නේ නොනිමි බැඳීමකි.

අවුරුදු උත්සව සමය ආරම්භ වීමත් සමග ඒ වෙනුවෙන් නිර්මාණය වූ ගීත මෙන් ම වෙළෙඳසල්වල ප්‍රචාරක පුවරු, පුවත්පත්, රූපවහිනී සහ සමාජ ජාල කොහාගේ රුව සහ හඬ යොදා ගන්නේ අවුරුදු හැඟීම තීව්‍ර කිරීම සඳහාය.

නමුත් කොහාගේ රුව සහ හඬ පිළිබඳ සමාජයේ ඇතැම් කොටස් අතර යම් අනවබෝධයක් පවතින බව ඔබ දැන සිටියා ද?

“වැරදි” රුව

කෙවිලිය
Image captionකෙවිලිය

කොහාගේ නාදය ප්‍රජනන සමය හා බැඳුණු අපූරු චර්යා රටාවකි.

“කොහෝ ….කොහෝ ..” යනුවෙන් නද දෙන්නේ පිරිමි පක්ෂියා වුවත් බොහෝ පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලවල පළ වන්නේ කොහාගේ රුව නොව එවැනි හඬක් නොනගන කෙවිලියගේ රුව බව පක්ෂීන් පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.

ඔවුන් පවසන පරිදි:

කොහා සහ කෙවිලිය බාහිර පෙනුමෙන් එක සමාන නැත. කොහාගේ මෙන් නොව කෙවිලියගේ බඳ මත පුල්ලි සහ ඉරි දැකගත හැක.

කොහා මුළුමනින් ම තද කළු පාට ය. ශරීරයේ නිල්, දම්, කොළ දිස්නයක් තිබේ. කෙවිලියගේ ශරීරයේ දුඹුරු පැහැති පසුබිමක ලා දුඹුරු හා සුදු ඉරි මෙන් ම ගෝමර දක්නට තිබේ. මොවුන්ගේ ශරීරය දිගටි වන අතර සිහින් දිගු වලිගයක් ඇත. ලා කොළ මිශ්‍ර සුදු පැහැති හොට විශාලය. එහි අග මදක් නැමී තිබේ. කොහා සහ කෙවිලිය යන දෙදෙනාගේ ම ඇස් තද රතු පැහැතිය. පාදවල ඇඟිලි දෙකක් ඉදිරියටත් අනෙක් ඇඟිලි දෙක පසු පසටත් පිහිටයි.

කුරුලු නිරීක්ෂකයෙකු සහ පරිසරවේදියෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන පවසන පරිදි බොහෝ අවුරුදු සුබ පැතුම් සහ දැන්වීම් තුළ දැක්වෙන්නේ, කොහාගේ නොව කෙවිලියගේ රුවය.

කොහා සහ කෙවිලිය

සිංහල බසින් කොහා හෝ කොවුලා ලෙස හඳුන්වන කුරුළු විශේෂයේ සත්ව විද්‍යාත්මක නාමය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් නම් තුනක් භාවිත කෙරේ.

Western Koel, Asian Koel හෝ Common Koel එම නම්ය. මොවුන්ගේ සත්ව විද්‍යාත්මක නාමය Eudynamus scolopacea ය.

මීට දශක කිහිපයකට පෙර අවුරුදු උදාව සහ කොහාගේ නාදය සමපාත වී තිබුණ ද මේ වන විට එහි වෙනසක් දැකිය හැකි බව නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

ඔහු පවසන පරිදි වර්තමානය වන විට කොහාගේ නාදයේ උච්ච අවස්ථාව අසන්නට ලැබෙන්නේ, අප්‍රේල් මාසයේ නොව මැයි මස වෙසක් කාලයේදීය.

ප්‍රජනන සමයේ වුව ද කොහාගේ නාද කිරීම පරිසර සාධක කිහිපයක් මත රැඳී පවතී. ඒ, උෂ්ණත්වය, වර්ෂාව සහ අහස පැහැදිලි වීම මතය. මේ වසරේදී කපුටන් කැදලි තැනීම ආරම්භ කිරීම මදක් ප්‍රමාද වී ඇති බව නිරීක්ෂණය වී තිබේ. (කෙවිලිය බිත්තර දමන්නේ කපුටු කූඩු මතය). එම තත්ත්වය අනුව චර්යාව අධ්‍යයනයේදී පෙනී යන්නේ අවුරුදු කාලයෙන් පසුව කොහාගේ නාද කිරීමේ වර්ධනයක් ඇති වන බවය.

අප්‍රේල් අවසානයේදී නාදය අඩුවී මැයි මාසයේ වෙසක් පොහොය ආසන්න වන විට එය උච්ච අවස්ථාවට පත් වන බව ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

රහසිගත ජීවිතය

කොහා
Image captionකොහා

අතුපතර සැඟවී වැඩි කාලයක් ගත කිරීමට කොහා ප්‍රිය කරයි. ප්‍රජනන සමයේදී නාද කළ ද අනෙක් කාලවල නිහඬ ජීවිතයක් ගත කරන බැවින් කොහා යනු අවුරුදු කාලයේදී ශ්‍රී ලංකාවට එන සංක්‍රමණික කුරුල්ලෙකු ලෙස මුතුන්මිත්තෝ විශ්වාස කළහ. මොවුන් බිමට බසින්නේ කලාතුරකිනි. පෙරවරු කාලයේදී අව්ව තැපීමට ප්‍රිය කරන කොවුලා පලතුරක් ආහාරයට ගන්න විට ඉතා කෑදර බවක් පෙන්වයි. නාගරික ගෙවතුවල ද වදුළු තුළ සැඟවී ජීවත් වේ.

කෝකිල කුලයට (Family Cuculidae) අයත් කුරුලු විශේෂ 12 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. ඒ අතරින් වඩාත් සුලබ හා පුළුල් පැතිරීමක් දක්නට ලැබෙන්නේ කොවුලන් විශේෂයයි.

සඳ එළියේ ගී ගැයීම

කොවුලන්ගේ ප්‍රජනනය කපුටන්ගේ ප්‍රජනනය හා බැඳී පවතී. එබැවින් කපුටන් වසරේ බිත්තර දමන අවස්ථා ගණන වැඩි වීමත් සමග කොවුලන්ගේ චර්යාව ද වෙනස් වී ඇතැයි කුරුලු නිරීක්ෂකයන්ගේ වාර්තා අනුව පෙනී යයි.

මේ තත්ත්වය මත අතීතයේදී අවුරුදු කාලයට නාද කළ කොහා මේ වන විට වසරේ අවස්ථා කිහිපයකදී නාද කරයි.

එම නාදය වඩාත් උච්ච වන්නේ, කපුටන් කැදලි තනා බිත්තර දමන කාලය ළඟා වන විටය. ප්‍රජනන සමයේදී දිවා කාලයේ මෙන් ම සඳ එළිය ඇති රාත්‍රී කාලයේ ද කොහාගේ නාදය අසන්නට ලැබේ.

කපුටු නුවණ පරදන උපක්‍රම

කපුටා බුද්ධිමත් කුරුල්ලෙකු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. කළයක පතුලේ තිබූ ජලය පානය කිරීම සඳහා ගල් කැට ගැනවිත් දමා ජලය ඉහළට පැමිණි පසු දිය පානය කළ බව එක් ජනප්‍රවාදයක කියවේ.

එහෙත් එක් අවස්ථාවකදී කපුටාගේ නුවණ කොහාට පරදින බව පක්ෂීන් පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.

කපුටන් සාදන කැදලිවල බිත්තර දැමීම සඳහා කෙවිලියට අවස්ථාව උදා කර දෙන්නට කොවුලා අපූරු උපක්‍රමයක් අනුගමනය කරන බව ප්‍රවීණ කුරුලු නිරීක්ෂකයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

කොහා කපුටු කැදලි අසල ගී ගයන විට කපුටා ඊට ඉඩ නොදෙයි. එහිදී කපුටන් සිදු කරන්නේ, කොවුලා පසුපස හඹා ගොස් පහර දීමය. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා කෙවිලිය කපුටන් නැති අතරේ කැදැල්ල තුළ බිත්තර දමා පළා යයි.

කොවුල් පැටවුන්ට සහජයෙන් ම උරුම වන ගතියක් නම් පාදවල ගැටෙන ඕනෑ ම දේකට තදින් පහර දීමේ හැකියාවයි. කොවුල් පැටවුන් කුඩා අවදියේ දිවි ගෙවන්නේ තම මවුපියන් සමග නොවන නිසා ඊට මුහුණ දීමට ආක්‍රමණශීලි චර්යාවන් උපතින් ම හිමිව තිබේ. එනම් වැඩිපුර අහාර ගෙන කපුටු පැටවුන්ට වඩා වර්ධනය වීමය.

 

උපුටා ගැනීම  –  බීබීසී සිංහල

Please follow and like us: