ඔසාකා හොදම නිළිය නිල්මිණි සිගේරා දිවයිනට

2019-03-19 at 08:44

ජපානයේ ඔසාකා ආසියානු 14 වන සිනමා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් , එහි තරගකාරී අංශයට ඉදිරිපත් වූ ” අසන්ධිමිත්තා ” චිත්‍රපටයේ රග පෑ නිල්මිණි සිගේරා මහත්මිය , එම සිනමා උළෙලේ හොදම රංගනය ( Brilliant Performance ) වෙනුවෙන් පිදෙන “යශිකෝ මුතු ” සම්මානය දිනා ගනිමින් 3/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියාය .

ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන් 3/08 සිට 3/17 දින දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවර පවත්වා තිබුණි .

රාත්තල් 300 ක් බර තරබාරු කාන්තාවක් වීම නිසා ඇය සමාජීය වශයෙන් සහ පවුල් කුටුම්භය තුළ පීඩනයට පත් වන ආකාරය , සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත ” අසන්ධිමිත්තා ” නව කථාව ඇසුරෙන් අශෝක හදගම මෙම චිත්‍රපටය නිපදවා තිබේ .

ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතු වලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි .

මෙම ජයග්‍රහණය රැගෙන නිල්මිණි සිගේරා මහත්මිය 3/19 දින අලුයම 12.10 ට හොංකොං සිට පැමිණි කැතේ පැසිෆික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය , මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂ අශෝක හදගම මහතා ඇතුළු චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළු නිළියන් විශාල පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර , ඇය රග පෑ මුල්ම චිත්‍රපටය මෙය වීම ද විශේෂත්වයකි .

Please follow and like us: