නූඩ්ල්ස් අවුරුදු 4000 ක් පැරණිලු

October 30, 2018

ඒවා අදින්න පුළුවන් නවන්න පුළුවන් තලලා රෝල් කරන්නත් පුළුවන්. තම්බලා සුප් සඳහා යොදන්න සහ මුහුදු මාළු සමග තෙලෙන් බැදලා කන්නත් පුළුවන්.

එක් දෙයක් විශ්වාසයි, කොහොම පිළියෙල කළත් කෙසේ කෑවත් නූඩ්ල්ස් ලෝකයේ ජනප්‍රියතම ආහාරවලින් එකක්.

1. නූඩ්ල්ස් අවම වශයෙන් වසර 4000 ක් පැරණියි

2002 වසරේදී අවුරුදු 4000 ක් පමණ පැරණියැයි විශ්වාස කළ නූඩ්ල්ස් බඳුනක් චීනයේ චින්හායි (Qinghai) පළාතේ කැණීමකින් සොයා ගත්තා.

කැණීමෙන් මතු කරගත් භාජනය සහ ඒ තුළ ආරක්‍ෂා වී තිබූ ද්‍රව්‍ය රොන් මඩවලින් මීටර් 3 ක් යටට වැළලී තිබුණා. එය සිදුවී තිබුණේ සහශ්‍රක හතරකට පමණ කලින් ලජියා (Lajia) නම් ස්ථානයේ සිදුවූ විනාශකාරී නාය යාමක් හේතුවෙන්.

මෙය සොයා ගැනීමට මත්තෙන් නූඩ්ල්ස් පිළිබඳ සඳහන් වෙන්නේ, ක්‍රිස්තු වර්ෂ 22 ත් 220 ත් අතර පැවති නැගෙනහිර චීනයේ හාන් (Han) රාජ වංශය සමයේ ලියවුණු පොතකින්.

එතරම් අතීතයකට උරුමකම් කියන්නට පුළුවන් වන්නේ, තවත් ආහාර වර්ග කීපයකට පමණයි.

2. ක්ෂණික නූඩ්ල්ස් සොයා ගත්තේ ලොව කුසගින්නට පිළියමක් හැටියට

දෙවන ලෝක සංග්‍රාමයෙන් ජපානය පරාද වීමෙන් අනතුරුව ආහාර සැපයුම හිඟ වූ අතර ජනයා ඇමරිකානු ආධාර මත යැපෙන්නට වුණා.

යුද්ධයෙන් අනතුරුව කුසගින්නෙන් පෙළුණු ජපාන වැසියන් එයින් මුදවා ගැනීමට තායිවාන සහ ජපාන ව්‍යාපාරික මොමොෆුකු ඔන්ඩෝ (Momofuku Ando)උත්සාහයක් කළා.

ඉතින් ඔහු වසරක් පුරා ම ඔසාකාහි ගෙවත්තක පිහිටි මඩුවක වෙහෙස නොබලා වරද්ද වරද්දා කළ උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට කුකුළන්ගේ කොටස් යොදාගෙන නිෂ්පාදනය කළ ලොව වඩාත් සාර්ථක ව්‍යාපාරික ආහාරය ලෙස ක්ෂණික නූඩ්ල්ස් බිහි වුණා.

1958දී මුලින් ම වෙළඳපොළට පැමිණි ක්ෂණික නූඩ්ල්ස් එදා සිට වෙනසකට භාජනය වුණා නම් ඒ ඉතා සුළුවෙන්.

3. මිලියන ගණන් ක්ෂණික නූඩ්ල්ස් දිනකදී ලොව පුරා ආහාරයට ගන්නවා.

ලෝක ක්ෂණික නූඩ්ල්ස් සංගමයට අනුව, ඔන්ඩෝගේ ගෙමිදුලක මඩුවේ එළි දැක්වූ නිර්මාණයෙන් වසර 60 ක් ගෙවෙන විට මිලියන 270 ක් පමණ ක්ෂණික නූඩ්ල්ස් ලොව පුරා දිනකදී ආහාරයට ගන්නවා.

වාර්ෂිකව නම් එය ලොව ජීවත් වන සෑම කෙනෙක් ම නූඩ්ල්ස් පිඟන් 16 ක් හෝ 17 ක් පමණ ආහාරයට ගන්නවා.

පසුගිය වසරේ පමණක් ලෝක වැසියන් බිලියන 100කට වඩා ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගෙන තිබෙනවා. එයින් බිලියන 38 ක් ම, චීනයේ. චීනය ලෝකයේ අංක එකේ “පහසු නූඩ්ල්ස්” සඳහා ඇති වෙළඳපොළයි.

4. ක්ෂණික නූඩ්ල්ස් සඳහා ම වෙන්වූ කෞතුකාගාර තුනක් ජපානයේ

නව සහශ්‍රකයට පිවිසීමත් සමග සිදුකළ මත විමසීමකදී 20 වන සියවසේදී තමන් සොයා ගත් හොඳ ම දෙය ක්ෂණික නූඩ්ල්ස් බව ජපානය පැවසුවා.

ඔව්, ඔබ තේරුම් ගත්තා හරි, අධිවේගී දුම්රිය – ලැප්ටොප් පරිගණකය මේ සියල්ලට ම වඩා ඉදිරියෙන් ‘ක්ෂණික නූඩ්ල්ස්’.

සමහර විටක ඒ ගැන පුදුම විය යුතුත් නෑ. ජපානයේ ක්ෂණික නූඩ්ල්ස් වෙනුවෙන් ම වෙන්වූ කෞතුකාගාර 3 ක් තිබෙනවා. එයිනුත් යෝකොහොමා කෞතුකාගාරය මුළුමනින් ම ‘කප් නූඩ්ල්ස්’ සඳහා වෙන් කර තියෙනවා.

5. තලු ගසමින් නූඩ්ල්ස් කෑම

ශබ්ද නගමින් තලු ගසා නූඩ්ල්ස් ආහාරයට ගැනීම නොහික්මුණු ක්‍රියාවක් ලෙස ජපානයේ නොසලකයි, ඇත්තෙන් ම එය කෘතවේදීත්වයේ සංකේතයක් හැටියටයි, ඔවුන් සලකන්නේ.

(BBC Sinhala)