ඉන්දියාවෙනුත් කොරෝනා එන්නතක් – මෝදි අද ජාතිය අමතයි – මෝදිගේ නව අරමුදලට විපක්ෂයෙන් චෝදනා

2020-06-30 at 11:49

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අද පස්වරු 4 ට ජාතිය ඇමතීමට නියමිතයි.

කොවිඞ් තත්වය සහ ඉන්දු-චීන දේශසීමාවේ වත්මන් උණුසුම් වාතාවරණය පිළිබඳ එහිදී අවධානය යොමුවනු ඇතැයි සඳහන්.

මේ අතර කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ස්ථාපිත කරනු ලැබූ නව අරමුදල සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේ වනවිට නව අරමුදලේ ශේෂය ඉන්දීය රුපියල් බිලියන 100 කට ආසන්න වී ඇති බවටයි සැළකෙන්නේ.

එහෙත් 1948 වසරේ සිට පැවති අග්‍රාමාත්‍ය සහන අරමුදල තිබියදී නව අරමුදලක් ස්ථාපිත කලේ කුමන අරමුණක් මතදැයි ඉන්දීය විපක්ෂය ඇතුලු පාර්ශව කිහිපයක් ප්‍රශ්න කර තිබෙනවා.

නව අරමුදලට ලැබී ඇති සියලු මුදල් අග්‍රාමාත්‍ය සහන අරමුදලට හුවමාරු කල යුතු බවයි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය අවධාරණය කරනවා.

මේ අතර කොවිඞ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස නිපදවන ලද එන්නතක් ඉන්දියාව තුළ මිනිසුන්ට අත්හදා බැලීම හෙටින් ආරම්භ වන මාසය තුළදී සිදු කෙරෙන බව එරට බළධාරින් අද නිවේදනය කලා.

හයිද්‍රාබාද් නගරයේ රසායනාගාරයක් තුළදීයි එය නිපදවා ඇත්තේ.

දැනට එන්නත් 120 ක් පමණ මෙලෙස අත්හදා බැලෙමින් පවතින අතර ඉන්දියාව තුළ අත්හදා බැලෙන පළමු එන්නත මෙයයි.