ඉන්දියාවේ දිනක වැඩිම ආසාධිතයන් ඊයේ / නවදිල්ලියටත් රාත්‍රී ඇඳිරි නීතිය

2021-04-07 at 07:44

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ඉන්දියාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ සටහන්වී තිබෙනවා.

ඒ එක් ලක්ෂ 15 දහස් 269 ක් ලෙසයි.

එරට රජය පෙන්වා දී ඇත්තේ ජනතාව නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීම මීට හේතුව බවයි.

මේ අතර උද්ගතව ඇති තත්වයත් සමග නවදිල්ලි අගනුවරටද රාත්‍රී ඇඳිරි නීතිය පැණවීමට පියවර ගෙන තිබෙනවා.

ලබන 30 වනදා දක්වා දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 05 දක්වා එය බලාත්මක වනු ඇති.

මේ අතර රටවල් විසින් ඉල්ලා ඇති පරිදිම සැපයුම් ලබාදීම දැඩි අසීරු කරුණක් බව ඇස්ට්‍රා-සෙනෙකා එන්නත නිපදවන ඉන්දියාවේ සීරම් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරී ආදර් පූනවල්ලා සඳහන් කලේ මේ දක්වා මාත්‍රා මිලියන 100 ක් ඉන්දීය දේශීය භාවිතය සඳහාත් මිලියන 60 ක් වෙනත් රටවල් සඳහාත් ලබා දී ඇති බවයි.

මාසිකව මාත්‍රා මිලියන 60 ත් 65 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කලා.