ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක වැඩිම ආසාධිතයන් අද – හොංකොං සියලු පාසල් වසා දමයි

2020-07-10 at 12:18

ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී නව කොරෝනා වෛරස් ආසාධිතයන් 288 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඞ් පැතිර යාම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා එරට ප්‍රාන්තයකින් හමුවූ වැඩිම රෝගීන් ගණන එයයි.

මෙතෙක් ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී සටහන්වූ වැඩිම ආසාධිතයන් ගණන ලෙස සටහන්වී තිබුණේ පසුගිය මාර්තු මාසයේ එක් දිනයකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් 211 දෙනායි.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා කේන්ද්‍රය බවට පත්වී ඇත්තේ මෙල්බර්න් නගරයයි.

පවතින තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව සතියකට 4000 බැගින් කපා හැරීමටයි ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා තීරණය කර තිබෙනවා.

මේ අතර බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනී ජෙනින් අනේස් ට වෛරසය වැළඳී ඇතැයි අද දිනයේදී අනාවරණය කර ගැණුනා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයේ තවත් 07 දෙනෙකුටද වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු කරගෙන අවසන්.

මේ අතර සිංගප්පූරු මහ මැතිවරණයේ ඡන්ද විමසීම දැන් ආරම්භ වී තිබෙනවා.

වෛරසය මධ්‍යයේ ඡන්ද විමසීමක් පවත්වන සීමිත රටවල් කිහිපය අතරට සිංගප්පූරුවද අයත් වනවා.

මේ අතර නැවත වරක් වෛරසය පැතිරයාමත් සමග සියලු පාසල් වසා දැමීමට හොංකොං රාජ්‍යය අද තීරණය කලා.