කන්දකාඩු රැඳවියන් බලන්න ආ පිරිස් සෙවීම අසීරු අඩියක

2020-07-13 at 10:43

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාලසීමාවේ පැමිණ තිබූ 116 දෙනෙකු විවිධ ප්‍රදේශවල ස්වයං නිරෝධානයට යොමුකර ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන් ගමන් කළ ප්‍රදේශවල කොරෝනා වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වී ඇති නම් එම ආසාධිතයින් මේ සතිය තුළදී හඳුනාගැනීමට හැකි වනු ඇති බවයි යුධ හමුදාපතිවරයා කියාසිටියේ.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ ‍රැදවූවන් හා එහි රාජකාරි කළ නිලධාරින් ඇතුළු 605 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර අවසන් බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා ප්‍රකාශ කලා.

නව ආසාධිත පොකුර වාර්තා වීමත් සමග කොරෝනා වෛරසය සමාජගත වී ඇත්දැයි සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඔහු කියාසිටියේ.

මාසයකටත් වැඩි කාලයක් මෙම නව ආසාධිතයින් සැරිසැරූ ප්‍රදේශ හා ඇසුරු කළ පුද්ගලයින් සෙවීමට සිදුව තිබීම හේතුවෙන් මෙය ඉතාම සංකීර්ණ තත්වයක් බවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියාසිටියා.