බහුතරයකට කොරෝනා අවධානම අමතකයි – පොත් ප්‍රදර්ශනයත් අනුමත කරන්නේ නෑ

2020-09-16 at 06:31

කොරෝනා රෝග අවදානමක් රට තුල පවතින මෙවන් අවස්ථාවක කොළඹ පොත් ප්‍රදර්ශනය වැනි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වන ඉසව් සංවිධාන කිරීම අනුමත නොකරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ කොළඹ පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන් විසින් උපරිමයෙන් ආරක්ෂා කරමින් ප්‍රදර්ශනය පවත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් හැකියාවක් ඇතිනම් කොළඹ පොත් ප්‍රදර්ශනයට නොපැමිණ පොත් හලකින් අවශ්‍ය පොත් මිළදී ගන්නැයිද වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 වනදා සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොරෝනා රෝග තත්වය හමුවේ පැණවු සෞඛ්‍යාරක්ෂිත නියමයන් මේ වන විට බහුතරයක් ජනතාවට අමතක වී ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.