ජනපතිවරණ ඉතිහාසය : යාපනය දිස්ත්‍රික්කය

2019-11-15 at 10:00

ආසන 11කින් සමන්විත යාපනය පරිපාලන දිස්ත්‍රික්කය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ කාගේත් අවධානය දිනාගන්නා දිස්ත්‍රික්කයක් බවට පත්ව තිබෙනවා.

1982-2010 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණවල දී යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩි ඉඩකඩක් ලැබුණේ නැහැ.

නමුත්, අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 66.28% ලෙස සටහන්ව තිබුණා.

එම නිසාම මෙවර ජනාධිපතිවරණයේ දීත් යාපනය දිස්ත්‍රික්කය තුළ සිටින ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

යාපනය දිස්ත්‍රික්කයට අයත් වන ආසන

1976 වසරේ දී නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව යාපනය දිස්ත්‍රික්කය ආසන 11කට වෙන් වුණේ පහත සඳහන් ආකාරයට යි.

1) කයිට්ස් ආසනය

2) වඩ්ඩුක්කෝඩෙයි ආසනය

3) කන්කසන්තුරේ ආසනය

4) මනිපායි ආසනය

5) කෝපායි ආසනය

6) උඩුප්පිඩි ආසනය

7) පේදුරුතුඩුව ආසනය

8) චාවකච්චේරි ආසනය

9) නල්ලූර් ආසනය

10) යාපනය ආසනය

11) කිලිනොච්චි ආසනය

කයිට්ස් ආසනය

1931 වසරේ සිටම පැවති කයිට්ස් ආසනය මේ දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් හිතකර වී නැහැ. එම නිසාම ඔවුන්ගේ පාර්ශවයට කයිට්ස් ආසනය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණේ 1988, 1999, සහ 2015 ජනාධිපතිවරණවල දී පමණ යි.

වඩ්ඩුක්කෝඩෙයි ආසනය

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් අනතුරුව වඩ්ඩුක්කෝඩෙයි ආසනය නිර්මාණය වුණා. දිස්ත්‍රික්කයේ සෙසු ආසන තරම්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට හිතකර නොවන මෙම ආසනය ඔවුන් ජයග්‍රහණය කර තිබෙන්නේ අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 3 දී පමණ යි.

කන්කසන්තුරේ ආසනය

1931 වසරේ සිටම පැවති කන්කසන්තුරේ ආසනය ප්‍රසිද්ධ ද්‍රවිඩ දේශපාලනඥයෙකු වූ එස්. ජේ. වී. චෙල්වනායගම් නියෝජනය කළ ආසනය යි. මුලින්ම පැවැත්වුණු 1982 ජනාධිපතිවරණයේ දී මෙම ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ කුමාර් පොන්නම්බලම් නම් අපේක්ෂකයා යි. නමුත්, ඉන් අනතුරුව පැවැත්වුණු ජනාධිපතිවරණ 3 දී ම මෙම ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට අවාසිදායක තත්ත්වයක පැවති මෙම ආසනය අවසන් ජනාධිපතිවරණ 3 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

මනිපායි ආසනය

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව උඩුවිල් නම් ආසනය නිර්මාණය වුණා. නමුත්, 1976 වසරේ දී මෙම අසනයේ නම මනිපායි ලෙසින් වෙනස් කරනු ලැබුවා. දිස්ත්‍රික්කයේ පවතින ආසන අතුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට එතරම් අවාසිදායක එකක් නොවන මනිපායි ආසනය 1982, 1994, සහ 1999 ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

කෝපායි ආසනය

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව කෝපායි ආසනය නිර්මාණය වුණා. ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වුණු කෝපායි ආසනය 1982-1999 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණ 4 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි.

උඩුප්පිඩි ආසනය

1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව උඩුප්පිඩි ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂයට වඩාත් හිතකර මෙම ආසනය අවසන් වරට පැවැත්වුණු ජනාධිපතිවරණ 4 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

පේදුරුතුඩුව ආසනය

1931 වසරේ සිටම පැවති පේදුරුතුඩුව ආසනය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වනවා. එම නිසාම අවසන් වරට පැවති ජනාධිපතිවරණ 4 දී ම මෙම ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

චාවකච්චේරි ආසනය

1946 වසරේ දී නිර්මාණය වුණු චාවකච්චේරි ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතීතයේ සිටම හිතකර එකක් වුණේ නැහැ. එම නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල මෙම ආසනය ජයග්‍රහණය කළේ 1994 වසරේ දී පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී පමණ යි.

නල්ලූර් ආසනය

1959 වසරේ දී නල්ලූර් ආසනය නිර්මාණය වුණා. 1982 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය ජයග්‍රහණය කළ නල්ලූර් ආසනය අනතුරුව පැවති ජනාධිපතිවරණ 3 දී ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. නමුත් ඉන්පසුව, නල්ලූර් ආසනයේ බලය තහවුරු කරගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල අවසන් ජනාධිපතිවරණ 3 දී ම නල්ලූර් ආසනය ජයග්‍රහණය කළා.

යාපනය ආසනය

1931 වසරේ සිටම පැවති යාපනය ආසනය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන් අවසන් වරට පැවති ජනාධිපතිවරණ 3 දී ම යාපනය ආසනය ජයග්‍රහණය කළා.

කිලිනොච්චි ආසනය

1959 වසරේ දී කිලිනොච්චිය ආසනය නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක ආසනයක් වූ කිලිනොච්චි ආසනය, අවසන් වරට පැවති ජනාධිපතිවරණ 4 දී ම ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

ජනාධිපතිවරණවල දී යාපනය දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු

1982 වසරේ පැවැත්වුණු මුල්ම ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් විසිනුයි. ඉන් අනතුරුව පැවැත්වුණු ජනාධිපතිවරණ 3 දී ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. නමුත්, පසුකලෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යාපනය දිස්ත්‍රික්කය තුළ බලය තහවුරු කරගත් නිසා අවසන් ජනාධිපතිවරණ 3 දී ම යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

1982 ජනාධිපතිවරණය

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන තරග කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග වැදුණා. නමුත්, එවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාවම අබිබවා ගිය සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ අපේක්ෂක කුමාර් පොන්නම්බලම්, යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 9,963කින්. එහි දී පොන්නම්බලම් වඩ්ඩුක්කෝඩෙයි, කයිට්ස්, චාවකච්චේරි, නල්ලූර්, යාපනය, සහ කිලිනොච්චි යන ආසන ජයග්‍රහණය කළා.

කුමාර් පොන්නම්බලම්- ඡන්ද 87,263 (40.03%)

හෙක්ටර් කොබ්බෑකඩුව- ඡන්ද 77,300 (35.46%)

ජේ. ආර්. ජයවර්ධන- ඡන්ද 44,780 (20.54%)

1988 ජනාධිපතිවරණය

1988 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස තරග වදින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ සිරිමාවෝ බණ්ඩාරනායක තරග වැදුණා. එහි දී රණසිංහ ප්‍රේමදාස දිස්ත්‍රික්කයේ තෙවන තැනට ඇද දමමින් මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර දෙවන තැනට පත්ව තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා.

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 44,197 (36.82%)

ඔසී අබේගුණසේකර- ඡන්ද 42,198 (35.15%)

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 33,650 (28.03%)

1994 ජනාධිපතිවරණය

1994 ජනාධිපතිවරණය සඳහා පොදුජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට, එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායක යි. එවර ජනාධිපතිවරණයේ දී විශාල ජනරැල්ලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක වටා ගොඩනැගී තිබුණු නිසා යාපනය දිස්ත්‍රික්කයේ ආසන 11ම පහසුවෙන් ජයගැනීමේ අවස්ථාව හිමි වුණේ පොදුජන එක්සත් පෙරමුණට යි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 16,934 (96.40%)

හඩ්සන් සමරසිංහ- ඡන්ද 341 (1.9%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 223 (1.3%)

1999 ජනාධිපතිවරණය

1999 ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක යාපනය දිස්ත්‍රික්කයේ ආසන 6ක් ජයග්‍රහණය කරන විට රනිල් වික්‍රමසිංහ ඉතිරි ආසන 5 ජයග්‍රහණය කළා. එම නිසාම තියුණු සටනකින් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක යාපනය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 4,038ක් ලබා ගනිමින්.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 52,043 (46.65%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 48,005 (43.03%)

2005 ජනාධිපතිවරණය

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහ යි. එවර රනිල් වික්‍රමසිංහ කයිට්ස් ආසනය හැර දිස්ත්‍රික්කයේ ඉතිරි ආසන 10ම පහසුවෙන් ජයග්‍රහණය කළ නිසා, දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 2,556ක් ලබා ගනිමින්.

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 5,523 (70.20%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 1,967 (25.00%)

2010 ජනාධිපතිවරණය

2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකා යි. එහි දී සරත් ෆොන්සේකාත් කයිට්ස් ආසනය හැර යාපනය දිස්ත්‍රික්කය තුළ තිබෙන ඉතිරි ආසන 10ම ජයග්‍රහණය කළා. එම නිසාම එවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල දිස්ත්‍රික් ජයග්‍රහණය හිමි කරගත්තේ වැඩි ඡන්ද 69,723කින්.

සරත් ෆොන්සේකා- ඡන්ද 113,877 (63.84%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 44,154 (24.75%)

2015 ජනාධිපතිවරණය

2015 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේන යි. එවර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයා යාපනය දිස්ත්‍රික්කයේ ආසන 11ම පහසුවෙන් ජයග්‍රහණය කළා. ඒ අනුව ඔහුට, වැඩි ඡන්ද 179,120ක් ලබා ගනිමින් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එසේම මෙය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු යාපනය දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ විශාලම වැඩි ඡන්ද ප්‍රමාණය බවටත් පත් වුණා.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 253,574 (74.42%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 74,454 (21.85%)

 

 

උපුටාගැනීම – Roar සිංහල