සජිත් පරාජය භාරගනී – එජාප නි. නායක ධුරයෙනුත් යයි

2019-11-17 at 12:10

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සුභ පැතුම් පිරිනමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු පුරවැසියන්ට සිය ස්තුතිය පිරිනමන බවයි.

තම මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලිය හා සම්බන්ධ වු සියල්ලන්ට ප්‍රණාමය පුද කරන බවද සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ දක්වා තිබෙනවා.

මෙරට ඉතිහාසයේ සාමකාමීම සහ ස්වාධීනම මැතිවරණය මෙවර පැවැත්වීමට හැකි වු බව ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ගතවු වසර 5 තුළදී සිදුකළ ප්‍රතිසංස්කරණ එවැනි මැතිවරණයකට මග පෑදු බව සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වී තිබෙනවා.

ප්‍රජාත්න්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරමින් එම ගමන ඉදිරියට ගෙන යන ලෙසටයි සජිත් ප්‍රේමදාස මහතා ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ පශ්චාත් මැතිවරණ සමය සාමකාමිව පවත්වාගෙන යාමට පියවර ගත්නා ලෙසටද සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා.

පරාජයේ වගකීම භාර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවයි සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.